ඩුබායි ඇතුළු යුරෝපීය රටවල සැඟවී සිටිමින් මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පාතාල නායකයන් 18 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ නායකයන් පිළිබඳ තොරතුරු සහ ඔවුන් රැඳී සිටින ස්ථාන දැනටමත් අනාවරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.
විදෙස් රටවල සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් 75 දෙනාට රතු වරෙන්තු නිකුත් කර ඇති අතර, ඒ අතරින් දැනටමත් 4 දෙනා එම රටවල අත්අඩංගුවට ගොස් ඇත. සමහරුන් එරට නඩු මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර විමර්ශන අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.
මෙම 18 දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) සහ විදෙස් රාජ්‍ය ආරක්ෂක අංශ සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා සිදුවෙමින් පවතී.
අදාළ පාතාලකරුවන් මිනිස් ඝාතන, වෙඩි තැබීම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධවල නිරත වී මෙරටින් පලා ගොස් විදේශ රටවල සිට මෙරටේ අපරාධ ක්‍රියාකාරකම් නියෝජනය කර ඇත.
කෙසේ වෙතත්, ඉන්දුනීසියානු පොලිසිය සමඟ එක්ව සිදුකළ රහසිගත මෙහෙයුමත් සමග දැන් විදේශයේ සැඟව සිටින නායකයන් රැසක් බියට පත්ව ඇති බවද වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට විමර්ශන සිදුකරමින් සිටී.