Advertisement

හිටපු ජනපති නිල නිවාස ආර්ථිකයට | ඇමැති නලින්ද ජයතිස්ස

හිටපු ජනපති නිල නිවාස ආර්ථිකයට | ඇමැති නලින්ද ජයතිස්ස

හිටපු ජනාධිපති නිල නිවාසවලින් ආර්ථික වාසි ලබා ගැනීමට රජය සැලසුම් කරයි

හිටපු ජනාධිපතිවරුන්ට හිමි නිල නිවාස නිසි පරිදි භාර දීමෙන් පසු, එම දේපළවල තක්සේරු වටිනාකම් උපයෝගී කරගෙන රජයට ආර්ථික වාසි ලබා ගැනීමේ සැලසුමක් ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (16දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජයේ වැඩිම මූල්‍යමය වාසියක් ලැබෙන පරිදි සහ භාණ්ඩාගාරයට වාසියක් වන තීරණයක් ගැනීමට රජය සූදානම් බව ඔහු පැවසීය. අමාත්‍යවරයා අවධාරණය කළේ, නව රජයට ලැබුණු ජනවරමට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස හිමිකම් අහෝසි කිරීමට පොදු නීතියක් සම්මත කර ඇති බවත්, ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට පවා එම හිමිකම් අහිමි වන බවත්ය.

“මේ ඔක්කොටම කොළඹ ගෙවල් තියෙනවා. මේක ඇබ්බැහියක් වෙලා. අපට ජනවරමක් ලැබිලා තියෙනවා ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඒ අනුව අපි කටයුතු කළා. පුද්ගලයන් ඉලක්ක කළේ නෑ. නිල නිවාසවලින් ගියා කිව්වාට තාම හරියට ගිහිල්ලත් නෑ.” යැයි අමාත්‍යවරයා පැවසීය.

හිටපු ජනාධිපතිනියක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නීතිඥ සමාගමක් හරහා තවත් මාස දෙකක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය. “සමහර අය ගියා කිව්වට තාම බඩු හරියට භාර දීලත් නෑ. මේ ඔක්කොම ටික හරියට භාර ගත්තට පසුව රජය තීන්දුවක් ගන්නවා ඒවයෙ තියෙන මූල්‍යමය වටිනාකම, වෙළෙඳපොළ අගය යන සියල්ල මත මේවා කොහොමද ආර්ථිකමය වශයෙන් ඵලදායි කටයුතුවලට යොදවන්නේ කියලා. ඉස්සෙල්ලා යනකම් ඉඳලා බලන්න ඕනෑ මොනවද තව ඉතුරු වෙලා තියෙන්නේ කියලා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *