Advertisement

උදය ගම්මන්පිල රජයට චෝදනා කරයි | “බොරු නඩු ගොතනවා”

උදය ගම්මන්පිල, පිවිතුරු හෙළ උරුමය, ආණ්ඩුව, වංචා, අයිසීසීපීආර්, මර්දනය, දූෂණය, හොරකම, බොරු නඩු, ශානි අබේසේකර

“ආණ්ඩුවේ ලොක්කන් සොරාකම් කරන්නේ තැබෑරුම් වහන විට බේබද්දන් බොන ආකාරයටයි” – උදය ගම්මන්පිල

රජය විපක්ෂය මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බවත්, මහා පරිමාණ වංචා සිදු කරන බවත් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකදීය.

ගම්මන්පිල මහතා සඳහන් කළේ තමාට එරෙහිව අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි. අයිසීසීපීආර් පනත යනු ලොව පුරා ආණ්ඩු විසින් විරුද්ධවාදීන් මර්දනය කිරීමට අවභාවිත කරන භයානක පනතක් බවත්, ශ්‍රී ලංකාවේ වසර 18ක් තිබුණද කිසිදු ආණ්ඩුවක් විපක්ෂය මර්දනය කිරීමට මෙය අවභාවිත කර නොමැති බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් තමා අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවද ඔහු වැඩිදුරටත් කීවේය.

ඔහුගේ ප්‍රකාශයට අනුව, මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ ආණ්ඩුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හය වතාවක් උත්සාහ කර ඇත. ඒවාට, ජනාධිපති විසින් සඟවා තිබූ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා දෙකක් ප්‍රසිද්ධ කිරීම, පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කළ කරුණු ප්‍රසිද්ධ කිරීම, වංචනිකව නිදහස් කළ බහාලුම් 323 පිළිබඳ තොරතුරු හෙළි කිරීම, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් හතෙන් දෙකක් ප්‍රසිද්ධ කිරීම සහ ජනාධිපතිවරයාගේ ජර්මනියේ පෞද්ගලික සංචාරය පිළිබඳ ප්‍රශ්න කිරීම වැනි සිදුවීම් ඇතුළත් වේ. මෙහිදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලා CID ය අධිකරණයට ගියද, පදනම් විරහිත චෝදනා නිසා අධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු කීවේය.

තමාට එරෙහිව දූෂණ හෝ වෙනත් චෝදනා ගොනු කිරීමට නොහැකි නිසා බොරු නඩු ගොතන බවට ඔහු රජයට චෝදනා කළේය. පසුගිය වසර 26ක කාලය තුළ තමා පාලනය කළ සියලු ආයතනවල ලිපිගොනු පරීක්ෂා කරමින් කිසියම් වරදක් සොයා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවත්, එම නිසාම ‘බොරු නඩු ගොතන’ වැඩසටහන ශානි අබේසේකර මහතාට භාර දී ඇති බවට තමාට තොරතුරු ලැබුණු බවත් ගම්මන්පිල මහතා පැවසීය.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉතා වේගයෙන් පිරිහී ඇති බවත්, බලයට පැමිණ මාස හයක් තුළ ඡන්ද පදනම 34%කින් අඩු වූ ආණ්ඩුවක් ලෝකයේ නොමැති බවත් ඔහු සඳහන් කළේය. මේ නිසා ආණ්ඩුව ව්‍යාපෘති තුනක් දියත් කර ඇති බවට ඔහු චෝදනා කරයි.

  1. විපක්ෂය සිරගත කිරීම: විපක්ෂ ක්‍රියාකාරීන් බිය ගන්වා අකර්මන්‍ය කිරීම. ඉදිරි මැතිවරණයට පෙර විපක්ෂයට තර්ජනයක් වන සියලු දෙනා සිරගත කිරීමට ඔවුන් සැලසුම් කරන බව ඔහු පැවසීය.
  2. රාජ්‍යය අත්පත් කර ගැනීම: ආණ්ඩු බලය නැති වුවද රාජ්‍යය තමන් සතු කර ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු පවා ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් පුරවන බවට චෝදනා කළේය.
  3. මහා පරිමාණ වංචා: “අද රෑ දොලහට තැබෑරුම් වහනවා කිව්වාම බේබද්දන් බොන විධියට තමයි අද ආණ්ඩුවේ ලොක්කන් සොරකම් කරන්නේ” යැයි පවසමින් බහාලුම් 323, සහල් මිල, සහස්දනවි, සීනි සහ ගල් අඟුරු වංචා වැනි සිද්ධි ගණනාවක් ඔහු හෙළිදරව් කළේය.

ඔහුගේ සහ විපක්ෂයේ කටවල් වැසීමට රජය මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ගම්මන්පිල මහතා අවසාන වශයෙන් පැවසීය.

LankaCnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *