Advertisement

ඩෑන් ඝාතන වෙඩික්කරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

ඩෑන් ඝාතන වෙඩික්කරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දෙයි

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (19) අවසර ලබා දී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතරට ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයා, ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව සහ ඔවුන්ට රැකවරණය ලබා දුන් පුද්ගලයෙක් අයත් වේ.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත, කෑගල්ලේ රන්වල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය අනාවරණය කර ගත් ආකාරයට, සැකකරු සිය අනියම් බිරිඳ සමඟ මාස තුනක කාලයක් රුපියල් 60,000ක කුලියකට කාමරයක් ගෙන එහි රැඳී සිට ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12ක් පමණ සහ අනියම් බිරිඳ සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් පමණ සොයා ගෙන තිබේ. ඔවුන්ට නවාතැන් ලබා දුන් බව කියන පුද්ගලයාද දුම්වැටි බණ්ඩල් 64ක් සහ ගජමුතු කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කෑගල්ල මහේස්ත්‍රාත් ශශිකා මිථුනආරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇය ඔවුන්ට නවාතැන් දුන් පුද්ගලයා හෙට (20) දක්වාත්, අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් සඳහාත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නාය. සියලු සැකකරුවන් එළඹෙන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *