සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ ඝාතනය කිරීමට ආධාර කළ බවට නම යොමුවූ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව විදේශ රටකට පලාගොස් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනාවරණය කර ඇත.
ඒ, ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරකි.
CID මගින් රඳවා තබා ඇති කෙහෙල්බද්දර පද්මේ, පානදුර නිලංග, කමාන්ඩෝ සලින්ත යනුවෙන් හඳුන්වනු ලබන අපරාධකරුවන්ගෙන් සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ඇති තැඹිලි ළහිරු සහ බැකෝ සමන්ගෙන් කරුණු රැසක් හෙළිවී ඇත.
කෙසේවෙතත්, ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් අනාවරණය වී ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයට සෘජු ආධාර කළ බවට සැක කෙරෙන ඉෂාරා සෙව්වන්දි ඝාතනයෙන් පසු රටින් පිටව ගොස් ඇතැයිය.
මෙම පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ජංගම දුරකථන 28ක්ද ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන ඇති අතර, එම දුරකථන ශ්‍රී ලංකා පොලිසියට භාරදී විමර්ශන ආරම්භ කර තිබේ.
source – ada derana