Advertisement

ලාල් කාන්ත “මට වත්කම් තිබෙනවා”යි පවසයි

ලාල් කාන්ත "මට වත්කම් තිබෙනවා"යි පවසයි

“අයථා ලෙස මුදල් උපයාගත් දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි” – ඇමති ලාල් කාන්ත

තමාගේ ජීවිත කාලය තුළ කිසිදු අවස්ථාවක “තමාට වත්කම් නැතැයි” ප්‍රකාශ කර නොමැති බව, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. ඔහු මෙම ප්‍රකාශය කළේ, දේශපාලනඥයන් සතු වත්කම් සහ අයථා ලෙස උපයාගත් මුදල් සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මම නම් මගෙන් ඔය ප්‍රශ්නේ අහලා තියෙන මුළු ජීවිත කාලෙදිම කියලා තියෙනවා මට වත්කම් තියෙනවා කියලා. මට ඉඩම් තියෙනවා කියලා. ගෙවල් දොරවල් තියෙනවා කියලා. එහෙම ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. අදත් නෑ. හෙට මං දන්නෑ.” යැයි අමාත්‍යවරයා පැවසීය. මෑතකදී නලින් හේවාගේ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ, තමාගේ පෞද්ගලික වත්කම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

අමාත්‍ය ලාල් කාන්ත, දේශපාලනයේ සිටින සියලුම දෙනා හොරු නොවන බවත්, එහෙත් අයථා ලෙස මුදල් උපයාගත් පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් අවධාරණය කළේය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, යම් පුද්ගලයෙකුට තමන් මුදල් උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි නම්, ඔවුන් නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු බවත්, එවැනි අයථා ලෙස උපයාගත් වත්කම් රජසන්තක කළ යුතු බවත්ය.

“සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කරන සංස්කෘතියක්” ගොඩනැගී ඇති බැවින් පොදු දේපල අවභාවිත කර ඇති අවස්ථා පිළිබඳ තොරතුරු දැන් හෙළිදරව් වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. එමඟින්, නීතිය හමුවේ කිසිවෙකුට හෝ වරදක් කර සැඟවීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවද අමාත්‍යවරයා අවසාන වශයෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *