ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනාධිපති අතින් විවෘත කරයි
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තහවුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් නව තලයකට ඔසවා තබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (සැප්තැම්බර් 19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවේදීය. මෙහිදී ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025-2029) ද හඳුන්වා දෙන ලදී.
මෙම මූලෝපාය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව සකස් කර ඇත. ආරක්ෂිත, විශ්වාසනීය සහ සියලු පුරවැසියන් ආවරණය කරන ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
මූලෝපායේ ප්‍රධාන අරමුණු අතර, සයිබර් ආරක්ෂණය සඳහා නීතිමය සහ පරිපාලන රාමුවක් සැකසීම, සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ කුසලතා ඇති ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම, මහජනතාව සහ පාසල් දරුවන් දැනුවත් කිරීම, රාජ්‍ය ආයතනවල සූදානම වැඩි දියුණු කිරීම සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම ඇතුළත් වේ.
අද විවෘත කෙරුණු ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 37ක් පැය 24 පුරා නිරීක්ෂණය කරනු ඇත. මෙහි ප්‍රධාන වගකීම වන්නේ, සයිබර් තර්ජන, අවදානම් සහ ප්‍රහාර හඳුනාගෙන අදාළ පාර්ශ්වයන්ට වහාම දැනුම් දීමයි.
මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධතියේ ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සයිබර් අවදානම් සඳහා පූර්ව අනතුරු ඇඟවීම් සහ වේගවත් ප්‍රතිචාර සැපයීම, සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයට සහාය වීම මගින් ආරක්ෂිත ඩිජිටල් මෙහෙයුම් පවත්වාගෙන යාමට උපකාරී වනු ඇත.
ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025-2029) ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න විසින් ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාට පිළිගන්වන ලදී.