“නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ පැවැත්වෙන 159 වන පොලිස් දින සැමරුම මේ වනවිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටී.
උත්සවය වෙත පැමිණි ජනාධිපතිවරයා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළිගැනීමට ලක්වීය. පසුව ජනාධිපතිවරයා වෙත විශේෂ පොලිස් උත්තමාචාරයක්ද පිරිනැමුණි.
ඉන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ වන අතර එහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා, පොලිස් දෙපාර්තමේන්තුව මේ දක්වා ඉදිරියට ගෙන ආ ප්‍රගතිය පිළිබඳව විස්තර කළේය.
ඒ අනුව, සංවිධානාත්මක අපරාධකරුවන් හා සංක්‍රාන්ත්‍රික අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශ රටවල සිට මෙරට අපරාධ මෙහෙයවූ පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ බවද ඔහු පැවසීය.
එසේම ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී ජාත්‍යන්තර පොලීසිය සමග එක්ව අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම, පොලිස් දෙපාර්තමේන්තුවට ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවද සදහන් කළේය.
මෙම අවස්ථාවෙදී ඔහු වැඩිදුරටත් පැවසූවේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1416, හෙරොයින් කිලෝග්‍රෑම් 946, ගංජා කිලෝග්‍රෑම් 1282 අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එසේම T56 සහ පිස්තෝල ඇතුළු ගිනිඅවි 1612 ද අත්අඩංගුවට ගත් බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
මේ අතර, පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 30,000ක හිඟයක් පවතින බවත්, එම පුරප්පාඩු පිරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන යමින් පවතින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය.