Advertisement

ඊශ්‍රායලයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්..

ඊශ්‍රායලයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

ඊශ්‍රායලයේ සේවය සඳහා ගිය ශ්‍රී ලාංකිකයෙකු අතරමං වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන්, එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

අදාළ පුද්ගලයා, 42 හැවිරිදි විවාහක සහ එක් දරු පියෙකු වන අතර, ඔහු 2025 අගෝස්තු 09 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රජයේ කෝටාව යටතේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා පැමිණ තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායලයට පැමිණ සතියක් පමණ ගත වූ පසු ඔහු රැකියාවට නොගොස් අධික ලෙස මත්පැන් පානයට හුරුවී ඇත. මෙලෙස මත්පැන් පානයට ඔහු ශ්‍රී ලංකාවේදීද පුරුදුව සිටි අයෙකු බවත්, පුනරුත්ථාපනය වූ අයෙකු බවත් සඳහන් වේ.

2025 අගෝස්තු 30 වන දින ඔහුගේ දෙමාපියන් මේ පිළිබඳව තානාපති කාර්යාලයට දැනුම් දීමෙන් පසු, ඔහුව නැවත ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට සහ අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබා දීමට කටයුතු කරන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

අනතුරුව, 2025 සැප්තැම්බර් 05 වන දින ඔහු ජෙරුසෙලම් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු ඊශ්‍රායල පොලීසිය දැනුවත් කර තිබේ. ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ඔහුව පොලිස් භාරකාරිත්වය යටතේ SHAARE ZEDEK MEDICAL CENTER වෙත ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, එදින රාත්‍රියේම ඔහු රෝහලෙන් පලා ගොස් තිබේ.

2025 සැප්තැම්බර් 09 වන දින ඔහු නැවතී සිටි ස්ථානයට පැමිණ නව රැකියාවකට යන බව පවසා පිටත්ව ගොස් ඇත. පසුව, 2025 සැප්තැම්බර් 16 වන දින ඔහු නෙතන්යා ප්‍රදේශයේ සිටින බව ශ්‍රී ලාංකිකයෙකු විසින් දැනුම් දුන් පසු, පොලීසියට දැනුම් දී ඔහු රඳවා ගැනීමට උත්සාහ කළද, පොලීසිය පැමිණ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු කිසිදු වරදක් කර නොමැති බැවින් නිදහස් කර ඇත. අනතුරුව ඔහු එම කණ්ඩායමෙන්ද ඉවත්ව ගොස් තිබේ.

2025 සැප්තැම්බර් 17 වන දින ඔහු බාතියාම් ප්‍රදේශයේ සිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. තානාපති කාර්යාලය ඔහුව අද දින තානාපති කාර්යාලයට රැගෙන ඒමට නියමිත අතර, ඉන් අනතුරුව ඔහුව ඊශ්‍රායල ආගමන නිලධාරීන් වෙත භාර දෙනු ඇත.

මෙම සිදුවීම නිසි පරිදි කළමනාකරණය කරමින් තිබියදී, පුද්ගලයාගේ නම, ගම, ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත් සහ ඡායාරූප පවා ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම අතිශයින් කණගාටුදායක බව තානාපතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *