මැදපෙරදිග අවිනිශ්චිතභාවය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් – මහ බැංකු අධිපතිගෙන් තක්සේරුවක්‍

Sri Lanka's economy is strong amid uncertainty in the Middle East - assessment from the Central Bank Governor

March 9, 2026   02:50 pm

ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හෝ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථිකය බිඳවැටීමට ඉඩ නොදෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාව මේ වන විට ඕනෑම බාහිර කම්පනයකට ඔරොත්තු දීමේ මූල්‍ය ශක්තියක් අත්කරගෙන ඇති බවය.

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාම සඳහා ඇතිව ඇති බාධාවන්ට එරෙහිව මෙය තීරණාත්මක ආරක්ෂිත ක්‍රමෝපායක්වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

පසුගිය ආර්ථික අර්බුදය සමයේ 70% ක්ව පැවති උද්ධමනය මේ වන විට  1.6% දක්වා අවම වී තිබීම නිසා ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම් හමුවේ දේශීය වෙළෙඳපොළ ආරක්ෂා කිරීමට මහ බැංකුවට මූල්‍යමය අවකාශය පවතින බව ඔහු අවධාරණය කර තිබේ.

මීට පෙර පැවති ඉන්ධන හිඟය විදේශ විනිමය නොමැතිකම නිසා ඇති වූවක් වුවද, වර්තමාන අවදානම් තත්ත්වය දේශීය අරමුදල් හිඟයක් නොව, ගෝලීය සැපයුමේ පවතින ගැටලු මත පදනම් වූ ඒවා බව ඔහු පැහැදිලි කර ඇත.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ‘IMF’ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අධිපතිවරයා පැවසුවේ, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටු සහ දේශගුණික විපර්යාස හේතුවෙන් දෙසැම්බර් මස සමාලෝචනය ප්‍රමාද වුවද, මාර්තු 15 වනදා පමණ වන විට සාකච්ඡා යළි ආරම්භ කිරීමට නියමිත බවත් ඒ අනුව  මැයි මාසයේදී මීළඟ වාරිකය අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.
මීළඟ වාරිකය නිදහස් කර ගැනීම සඳහා එළැඹෙන මැයි මාසය වන විට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම රජයේ ඉලක්කය බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා ඇත.

අභියෝග මධ්‍යයේ වුවද, මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5% ක් පමණ වනු ඇතැයි මහ බැංකුව විශ්වාස කරන බැවින් එය IMF ආයතනය පුරෝකථනය කළ 2%ක අගයට වඩා ඉහළ අගයක් බව ද පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මැදපෙරදිග ගැටුම් දිගුකාලීන වුවහොත් ගෝලීය වෙළෙඳාමට බලපෑම් එල්ල විය හැකි වුවද, ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය අනුව එම තත්ත්වයන් පාලනය කර ගත හැකි බව අධිපතිවරයා වැඩිදුරටත් සහතික කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

එක්සත් අරාබි එමීරයේ සිංහල භාශාවෙන් නිව්ස් කියවන්න අපි ඩුබායි රේඩියෝ සිංහල නිව්ස් වෙතින්ම පමණයි..

X