ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව ‘BIRDS-X DRAGONFLY’ හෙට කක්ෂගත කෙරේ
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන ‘BIRDS-X DRAGONFLY’ හෙට (19) කක්ෂගත කිරීමට නියමිත බව ආතර් සී. ක්ලාක් ආයතනය නිවේදනය කරයි. මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂයට මුදා හැරෙනු ඇත.
මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වන දින නාසා ආයතනය මගින් දියත් කරන ලද SPX33 රොකට් මෙහෙයුම ඔස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කරන ලදී. ‘රාවණ-1’ (2019) සහ ‘KITSUNE’ (2022) චන්ද්‍රිකාවලින් පසුව කක්ෂගත කෙරෙන මෙම නව චන්ද්‍රිකාව, මෙරට අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම ව්‍යාපෘතියේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් දැරීමට සිදු නොවීමයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් ආයතනය සහ ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය අතර වූ තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය. ජපානයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (JAXA) සහ ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය (ARDC) ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගය ද ඊට ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතිය මෙරටට දායාද කළේ ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ වැඩසටහනේ නිර්මාතෘවරයා වන ආචාර්ය සනත් පනාවැන්නගේ මහතාගේ මූලිකත්වයෙනි. මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළ පර්යේෂණ ඉංජිනේරු කණ්ඩායමට ඉංජිනේරු කමනි එදිරිවීර, ඉංජිනේරු කවින්ද්‍ර ජයවර්ධන, පර්යේෂණ ඉංජිනේරුවන් වන තරිඳු දයාරත්න, කවීන්ද්‍ර සම්පත්, උදිත ගයාන් සහ පර්යේෂණ විද්‍යාඥ තිළිණ විජේබණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.