ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ රැකියා හිඟයක් ඇති විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි
ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණ තරුණියන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමට නියමිතව ඇතත්, එම කාලය තුළ නිර්මාණය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත්තේ නව රැකියා 300,000ක් (ලක්ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. මෙම තත්ත්වය සමනය කිරීමට රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt) මහතා පවසයි.
ලෝක බැංකුව සිය නිල ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් පසුවයි. පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම, සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග දිගින් දිගටම කටයුතු කරන බව ලෝක බැංකුව මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවේදී උප සභාපතිවරයා ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ප්‍රශංසා කළ අතර, රැකියා උත්පාදනය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගන්නා සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට අඛණ්ඩව සහාය දක්වන බවද සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය: “ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පුළුල් වූ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළු ගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”